Jackson Anthony

Well known in art circles Konganige Joseph Malsy Jackson Anthony started his career as a teacher. His introduction to drama came to him in school which he sharpened and polished subsequently while being in the University.

In the 1977 Youth Awards he was given an award for Neville Dias Subasinghe’s stage drama ‘Waruwen Yana Minissu’. Thereafter Jackson associated himself with the giants of the Sinhala stage – Prof. Saratchandra, Henry Jayasena, Sugathapala de Silva, Dayananda Gunawardena, Lucien Bulathsinhala and Dharmasiri Bandaranayake.
This paved him the way to perform in ‘Tharavo Igilethi’, ‘Dunna Dunu Gamuwe’, ‘Bera Handa’, ‘Marasad’, ‘Methanin Maruwenu’, ‘Oththukaraya’, ‘Madura Javanika’, ‘Ath’, ‘Loma Hansa’, ‘Mora’, ‘Dhawala Bheeshana’, ‘Neinage Suduwa’ stage dramas.
His introduction to television came from the children’s drama Assa Gudun. He never looked back thereafter participating in the teledramas ‘Palingu Menike’, ‘Thara Devi’, ‘Kadulla’, ‘Suseema’, ‘Kande Gedera’, ‘Muthu Panthiya’, ‘Pitagankarayo’, ‘Akala Sandya’.
Stepping on to the stage in the ‘80s his next step was to the cinema in the ‘90s. He portrayed many an unforgettable character in these films – ‘Bava Duka’, ‘Bava Karma’, ‘Tharanaya’, ‘Julietge Bhumikawa’, ‘’Gini Avis aha Gini Keli’, ‘Guru Gedera’, ‘Ran Diya Dahara’, ‘Loku Duwa’, ‘Garilla Marketing’, ‘Ayoma’.
Having won the Best Actor’s award at the Presidential Awards of 1998 and 1999 he went on to collect more awards.
A man of many parts – actor, presenter, researcher, author, artiste, media person and traveler he steps on to Mahasamayama as the devil ‘Mahasohona’ who rises from the ashes of Basma Asura.
Living in the Thambapanni cemetery he brings on sicknesses on people. He takes human sacrifices and brings misfortune. But Jackson Anthony the artiste has great satisfaction personally, regarding his role as Mahasohona as well as Mahasamayama.
To quote Jackson Anthony - We are living in a period where the tradition of ballet initiated by Makuloluwa, Chitrasena and Premasiri Khemadasa is a dying art but fortunately Sri Lanka has now been endowed with a fully equipped and modern National Performing Arts Theatre. The prestigious ballet tradition of Chitrasena is now limited to small dances accompanied by a song or very small items.
When I read the script of Mahasamayama I felt it was a continuation of the work of the Chitrasena and Khemadasa. It’s a musical drama so pleasing to thesenses with a backdrop of deep philosophy.
Athugala has very clearly woven Mahasamayama basing it on Indian Philosophy, Theravada Buddhism and Sri Lankan folklore. He combines these three elements very cleverly connecting the theories of evolution and physics.
The destruction depicted in the Ishwara concept has been connected to Impermanence in Theravada Buddhism and Athugala mixes these in a very subtle way.
He comes to the conclusion that the destruction in the Ishwara concept is nothing but the circle of evolution indicated in Impermanence in Buddhist thinking. I see that Mahasamayama is a fantasy connecting the three things detailed above. This fantasy has its origins in India combined with Sri Lankan traditions as well as the accepted impermanence in Buddhism.
This philosophical background can be woven into a story only by a very clever author which Athugala has done with great success.
The story of Mahasohona with the attendant characters of Ishwara, Uma and Asura have been around in our folk literature for a long long time. Athugala has given us a story line to think on developing this idea. The next step that has to be taken is to attach music and song to make it appealing.
I play the role of Mahasohona in Mahasamayama. I am well acquainted with him according to the Sri Lankan tradition. I know him well and I like him.
In any case the drama has a philosophy behind it which is a revelation has been revealed to us. There is great scope to present it through dance and song.
The fact that Mahasamayama has been added to the grand stage will undoubtedly be a new experience to the Sri Lankan audience. To me personally it gives me the greatest pleasure.

ජැක්සන් ඇන්තනි - මහසොහොනා

කලා ක්ෂේත්‍ර‍යේ ඉසව් ගණනාවක විසිරුණු පැතිරුණු වපසරියක් ඇති කොන්ගනීගේ ජෝශප් මැල්සි ජැක්සන් ඇන්තනී, සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේ ගුරුවරයෙකු ලෙසිනි. වේදිකාව පිළිබඳ මුල් ම හැඟුම පාසල් ජීවිතයේ දී ම අත් දුටු ඔහු විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වු පසු සිය නළුකම වඩාත් මතුකොට ගත්තේය. මුවහත් කොට ගත්තේය.

1977 වසරේ යෞවන සම්මාන උළෙලේ ජයග්‍රහණ හිමිකරගත් නෙවිල් ඩයස් සුබසිංහගේ 'වාරුවෙන් යන මිනිස්සු' වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි ජැක්සන්, මහාචාර්ය සරත්චන්ද්‍ර, හෙන්රි ජයසේන, සුගතපාලද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ලූෂන් බුලත්සිංහල, ධර්මසිරි බණ්ඩාරනායක, ජයන්ත චන්ද්‍රසිරි වැනි නාට්‍ය ලෝකයේ දැවැන්තයින්ගේ ඇසුරට වැටුණේය.

තාරාවෝ ඉගිලෙති, දුන්න දුනු ගමුවේ, බෙරහඩ, මරාසාද් මෙතැනින් මාරුවෙනු, ඔත්තුකාරයා, මධුර ජවනිකා, අත්, ලෝමහංස, මෝරා, ධවල භීෂණ, නෙයිනගේ සූදුව වැනි ඉතිහාසයේ නමක් තැබු වේදිකා නාට්‍ය ගණනාවක රඟපාන්නටත් අභාෂය ලබන්නටත් ඔහුට මග හසර උදා වුයේ ඒ ඔස්සේය.

පසු කාලෙක පළිඟු මැණිකේ, තාරා දේවි, කඩුල්ල, සුසීමා, කන්දේ ගෙදර, මුතු පංතිය, පිටගංකාරයෝ, අකාල සන්ධ්‍යා වැනි ටෙලි නාට්‍ය ගාණනාවක් ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔහු ඒ ගමන ඇරඹුයේ 'අස්ස ගුඩුං' ළමා ටෙලි නාට්‍යයෙනි.

80 දශකයම වේදිකාවේ ගතකළ ජැක්සන් 90 දශකය වන විට සිනමාවට ද පා තැබීය.

බව දුක, බව කර්ම, තරණය, ජුලියට්ගේ භූමිකාව, ගිනි අවි සහ ගිනි කෙළි, ගුරු ගෙදර, රන්දිය දහර, ලොකු දුව, ගරිල්ලා මාකටින්, අයෝමා වැනි චිත්‍රපට රැසක මතක හිටින චරිත ගණනාවක් ඉදිරිපත් කළේය.

1998 සහ 1999 වසරේ ජනාධිපති සම්මාන උළෙලේ හොඳම නළුවා වු ඔහු සිය රංගන ප්‍රතිභාව වෙනුවෙන් බො‍හෝ වරක් සම්මානනීය වුයේය.

රංගධරයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, ගවේෂකයෙකු, ලේඛකයෙකු, චිත්‍ර ශිල්පියෙකු, මාධ්‍යවේදියෙකු, සංචාරකයෙකු මතු නොව තවත් ඉසව් රැසක පැතිරී සිටින ජැක්සන් 'මහසමයම' ඔස්සේ අපට මුණ ගැසෙන්නේ දැවී යන 'බස්මා අසුර' ගේ අළු ගොඩින් උපදින 'මහසොහොනා' නම් යක්ෂයා ලෙසිනි.

හේ තම්බපන්නී සොහොනේ ජීවත් වෙමින් මිනිසුන් ලෙඩ කරයි. බිලි ගනිමින් වින කටියි. එහෙව් 'මහසොහොනා' පිළිබඳවත් සමස්ත 'මහසමයම' පිළිබඳවත් ජැක්සන් තුළ ඇත්තේ අතිශය තෘප්තිකර හැඟීමකි.

“මකුලොළුව, චිත්‍රසේන, ප්‍රේමසිරි කේමදාස වැනි ශිල්පීන් ආරම්භ කරන්න උත්සාහ කළ බැලේ සම්ප්‍රදාය සම්පුර්ණයෙන් ම ගිලිහී ගිය කාලෙකයි අපට මේ සම්පුර්ණ බැලේ රඟහලක් වාස්තවිකව නිර්මාණය වන්නේ. චිත්‍රසේනයන්ගෙන් ඇරඹි මේ ගැඹුරු නැටුම් සම්ප්‍රදාය අද සිංදුවකට නටන පොඩි පොඩි 'අයිටම්ස්'වලට පමණක් සීමා වෙලා. 'මහසමයම' පිටපත කියවද්දි මට දැනුණේ මේ චිත්‍රසේනලගෙන් කේමදාසලගෙන් ඇරඹි ව්‍යාපෘතියේ දිගුවක් ලෙසයි. මෙය සංගීතමය නෘත්‍යාංගයක්. රූපමය සත්කාරයක්. ඒ තුළ ගැඹුරු දර්ශනයක් තිබිය යුතුයි. මේ සංකීර්ණය හඳුනාගන්න ඇතුගල භාවිතා කරන උපක්‍රමය හරි ඉහළයි. ඔහු දර්ශනවාද තුනක පැතිකඩ තුනක් එකට මිශ්‍ර කරනවා.

ඒ ඉන්දීය දර්ශනවාදය, ථෙරවාදී බුදු දහම සහ ශ්‍රී ලාංකේය ජනශ්‍රැතිය කියන කාරණා තුනයි. ඔහු මේ කාරණා එකිනෙකට සම්බන්ධ කරන්නේ පරිණාමවාදී විග්‍රහයන් සහ භෞතික විද්‍යා විශ්ලේෂණ සහ භෞතිකවාදී විශ්වාස එකිනෙකට ඈඳා ගනිමින්.

ඊශ්වර දහම තුළ දක්වන විනාශය මේ පිටපත තුළ ඇතුගලයන් අනුවර්තනය කොට දක්වන්නේ බුදු දහමේ පෙන්වන අනිත්‍ය ලෙසයි. ඔහු එය මිශ්‍ර කරනවා.

තුන්වැනිව මේ ඊශ්වර දහමේ විනාශයත්, බුදු දහමේ අනිත්‍යයත් යනු වෙන කිසිවක් නොව පරිණාමයමයි කියන අවසාන විග්‍රහයකට එනවා. ඒ නිසා මේ මහසමයම මා දකින්නේ ඉහත කාරණා තුනම මිශ්‍ර වු ෆැන්ටසියක් ලෙසයි. ඒ ෆැන්ටසියට ඉන්දියානු සම්භවය, දේශීය සම්ප්‍රදාය, බුදු දහම, ලෝක සම්මතය කියන කාරණා සමඟ මුළු ආසියාවම ඔහු ඒකට සම්බන්ධ කරනවා.

මේ කියන දාර්ශනික සම්මිශ්‍රණය කතාවකට නගන්නට හැකි සූර රචකයෙකුට පමණයි. ඇතුගල මේ අත ගසා තිබෙන්නේ එවැනි අති දුෂ්කර එහෙත් සාර්ථක වෑයමකටයි.

මහසොහොන් උප්පත්ති කතාවේ එන ඊශ්වර, උමා, අසුර කියන සංකල්ප පිළිබඳ අපේ ජන කලාකරුවා සැකෙවින් දන්නා දත්තය ගැඹුරින් හා සවිස්තරාත්මක ව ගෙන හැර පාන ඇතුගලයන්, අනෙක් අතට ලංකාවේ වල් වැදී ගිය බැලේ සම්ප්‍රදාය අලුතින් ගොඩනගන්නට අවශ්‍ය මූල බීජය, මූල පිටපත අපට පහළ කොට දී තිබෙනවා.

මෙතැනින් එහාට තිබෙන්නේ එහි දෘශ්‍ය රූපය වේදිකාවට ගෙන ඒමයි. එයට බරපතළ ලෙස බලපාන්නේ සංගීතය හා නර්තනයයි. 'මහසමයමේ', මම 'මහසොහොනා'. ලාංකේය සම්ප්‍රදායෙන් මා ඔහු ඉතා හොඳින් හඳුනනවා. ඒ නිසා මහසොහොනා මට ඉතා ප්‍රිය චරිතයක්. මට ඔහු හුරුයි.

කෙසේ හෝ වේවා මෙය දාර්ශනික නාට්‍යයක්. අනෙක් අතට බැලේ නර්තනයකට අවශ්‍ය දාර්ශනික සත්‍යයක්. මෙන්න ඒ මූල බීජය පහළ වෙලා.

නර්තනය හා සංගීතය හරහා ඒ දාර්ශනික සත්‍ය නිරූපණයට ලොකු ඉඩක් තිබෙනවා.

මහා වේදිකාවට 'මහසමයම' එක්වීම තුළ මේ සියලු කාරණා අලුත් අත්දැකීමක් ලෙස ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාට විඳින්න අවකාශ සැලසෙනවා. එය මටත් ප්‍රීතිය දනවන කාරණයක්...”