ශ්‍රී ලාංකේය වේදිකාවේ නව ප්‍රාසංගික අත්දැකීම “මහසමයම”

පුරාණෝක්තියෙන් යාතු කර්මයෙන් උපන් ජන නාට්‍ය සම්ප්‍රදායන්ට, වර්තමානයට ආරාධනා කරනු වස්, පුරාණ මානව පරිකල්පනයෙන් හා ස්මරණයේ මහත් වූ ආනිශංසයෙන් බිහි වූ නිර්මාණාත්මක අනුභූතීන් හා රංග චර්යා ඔස්සේ අද්‍යතන මානව සිතුවිලි හා පැවැත්ම තේරුම් බේරුම් කර ගැනීම උදෙසා ''මහසමයම'' දැවැන්ත වේදිකා නාට්‍යය ලබන ජනවාරි 30 වැනි දා රංගාවතරණයට සූදානම් වේ.

mahasamayama 1

ගෝඨයිම්බර හා මහසෝනා අතර ඇති වූ ගැටුම පිළිබඳ පුරාණෝක්ති ඇසුරෙන් මහාචාර්ය ආරියරත්ත ඇතුගල සූරීන් අතින් නාට්‍ය පෙළ ලියැවී නිෂ්පාදනය වන "මහසමයම" මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසයේ අති දැවැන්ත නිර්මාණයක් ලෙසින් වේදිකාගත වන්නේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ප්‍රාසංගික රංගශාලාවේ දී ය. ජනවාරි 30 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 6.30ට මංගල දර්ශනය රංගගත කෙරේ. පෙබරවාරි 1 සහ 2 යන දෙදිනේ ද මහජනතාව වෙනුවෙන් නාට්‍ය වේදිකාගත වේ.


පුරාණ ලක්දිව සහ ඉන්දියාවේ ජනප්‍රවාද හා පුරාණෝක්ති මත පදනම් ලියැවුණු මහසමයම නාට්‍යය මහාචාර්ය ඇතුගල සූරීන්ගේ පළමු දැවැන්ත වේදිකා නාට්‍ය නිෂ්පාදනය ද වන්නේය.

mahasamayama madani

කිසියම් ජන කොට්ඨාසයක සංස්කෘතියේ විශිෂ්ටතාව හඳුනාගත හැකි මූලික ලක්ෂණයක් ලෙසින් එම ජාතිය සතු කලා නිර්මාණයන් හඳුන්වා දිය හැකිය. සිංහලයා සතු වූ ප්‍රෞඩ ඉතිහාසය මෙන්ම විශිෂ්ට කාල නිර්මාණ ද ඇත. වසර දෙදහස් පන්සියකට අධික කාලයක සිට සාක්ෂරතාව ලබා ගෙන සිටින සිංහලයා සම්භාව්‍ය සාහිත්‍යකට උරුමකම් කියයි.

ජන සම්ප්‍රදායයන් නිරන්තරයෙන් වෙනස්කම්වලට භාජනය වීම අනිවාර්යෙන්ම සිදු වන්නකි. ඒ එම නිර්මාණයන් ජීවමාන කලාවන් ලෙසින් නිරන්තරයෙන් භාවිතයේ පවත්නා බැවිනි. සිංහල ජන සමාජය සතුව පවතින මෙවැනි එක් ජන සම්ප්‍රදායක් ලෙස ශාන්ති කර්ම හඳුන්වා දිය හැකිය.

mahasamayama mahasona

සිංහලයාගේ ජීවය, කලාව සහ ඔවුන්ගේ ඇදහිලි හා විශ්වාස මෙම ශාන්ති කර්ම තුළ ගැබ්ව තිබේ. අද අප සතුව පවතින බොහෝ නාට්‍ය හා කලා සම්ප්‍රදායයන් ඉපැරණි නාඩගම් හා ශාන්තිකර්ම ඇසුරින් නිර්මාණය වී තිබේ. බටහිර කලාකරුවන් පුදුමයට පත්කරවීමට සමත් මෙම කලා සම්ප්‍රදායන්හට වර්තමානයේ නිසි පිළිගැනීමක් හිමිවනවාද යන්න ගැටලුවකි.

මෙම උඩරට, පහතරට හා සබරගමු සම්ප්‍රදායන් තුළ ඇති ශාන්තිකර්ම අතුරින් පහතරට ශාන්තිකර්ම ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදා දැක්විය හැකිය. සූනියම් යාගය, මහසෝන් සමයම, සන්නියකුම, රටයකුම හෙවත් රිද්දියාගය එම කොටස් 4යි. මේ අතරින් මහ සොහොන් සමයම නමින් එන යාතුකර්මය මාතර හා හම්බන්තොට ප්‍රදේශයේ අසාධ්‍ය රෝගීන් උදෙසා පවත්වාගෙන එනු ලබන අභිචාර විධියකි. මහ සොහොන් සමයම පහතරට ශාන්තිකර්ම අතුරින් බලවත් මෙන්ම ඉතාම අලංකාර වූ ශාන්ති කර්මයක් ලෙස හැඳින්විය හැකිය.

mahasamayama chaturika

නූතන නිර්මාණාත්මක සන්නිවේදන අධ්‍යනයට යාතුකර්ම කිහිප ආකාරයකින් සම්බන්ධ වේ. ඉන් ප්‍රධානතම අංගය වනනේ රංග කලාවයි. (Theatre Arts) යාතු කර්මයන්හි ස්වභාවය නොදැන රූපණ ශිල්පියෙකුට රංගනයේ ප්‍රබලත්වය, අභිනය හා ගුණාත්මක බව රඳවා ගැනීමට නොහැකි බවට රංග කලාව තුළ මතයක් පවතී. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් තම නිර්මාණ සඳහා නිරන්තරයන් මෙම ජන සම්ප්‍රදායන් නිරන්තරයෙන් යොදා ගත්තේය.

ශාන්තිකර්ම හා ඒ බලගතු ජීවයෙන් පිරිපුන් සම්ප්‍රදායන්හි එන නාට්‍යමය ගුණාංග වර්තමාන වේදිකාවට ගෙන ඒමට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වන මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් සැරසේ. අතීත ජන විඥානය තුළ වූ ඇදහිලි හා විශ්වාස වර්තමාන පරපුරට දායාද කිරීමට මහසමයම නමින් වේදිකා රංගයක් නිර්මාණය වෙමින් පවතී. මහසොහොන් සමයම ශාන්ති කර්මයේ ඓතිහාසික කතා පුවත ඇසුරින් මෙය නිර්මාණය වේ.

mahasamayama sriyantha

අප අසා ඇති ආකාරයට මහ සොහොනා උපදින්නේ අළු මතිනි. ජනශ්‍රැතිය තුළ මේ හා බැඳුණු උත්පත්ති කතා රාශියක් තිබේ. එම එක් කතාවක් පාදක කොට ගනිමින් මහාචාර්ය ඇතුගලයන් මහසමයම නිර්මාණය කොට තිබේ.

බ්‍රහ්මයා යනු ලෝකයේ මැවුම්කරුවාය. ඊශ්වර යනු ලෝකය පාලනය කරන්නා වූ බල සම්පන්න දෙවිකෙනෙකි. විශ්වයේ විනාශය ඔහු අතින් සිදු වන බව කියැවේ. උමයංගනා යනු ඊශ්වරගේ බිරිඳයි. ඊශ්වර සතුව බලගතුවූ ඉසුරු දැහැන පවතින අතර බස්මා අසුර වසර 12ක් මුළුල්ලේ ඊශ්වර වෙත සේවය කරයි. ඊශ්වර සතුව පවතින මෙම ඉසුරු දැහැන ලබා ගැනීමට බස්මා අසුර මාන බලන අතර ඒ සඳහා ඔහු යොදා ගන්නේ ඊශ්වර බිරිඳ වූ උමයංගනාවයි. කෙසේ හෝ ඔහු උමයංගනා රවටා ඊශ්වර වෙතින් එම දැහැන ලබා ගැනීමට සමත් වේ. ඊශ්වර දැහැන අතට මතුරා එම අත තබන්නේ කොතැනකද එම ස්ථානය ක්ෂණයකින් අළු වී යයි. උමයංගනා රවටා දැහැන ලබා ගන්නා බස්මා අසුර දැහැන අතට මතුරා ලෝකය විනාශ කරන්නා ඊශ්වර බව පවසමින් ඔහු විනාශ කිරීමට ඊශ්වර පසුපස ලුහුබඳී.

mahasamayama indika

විෂ්ණු යනු ඊශ්වරගේ මිත්‍රයාය. බස්මා අසුර විසින් ඊශ්වර නැසීමට එන බව දැන බස්මා අසුර යන මඟ රූමත් කාන්තාවකගේ වෙස් ගෙන සිටී. මෙම රූමත් කාන්තාවගේ වසඟයට පත් වන අසුරහට සියල්ල අමතක වේ. දිවි ඇති තෙක් ඇය රකිනා බවට තම හිස මත අත තබා පොරොන්දු වන ලෙසට කාන්තාව අසුරට පවසයි. දැහැන අතට මතුරා සිටිය බව අමතක වන අසුර තම හිස මත අත තබා පොරොන්දු වේ. ක්ෂණයකින් අසුර අළු වී යයි. මේ අළු මතින් මහ සොහොනා උපදී. එතැන් පටන් මිනිස් වර්ගයාට වින කටිමින් මහ සොහොනා ජීවත් වේ. ඇතුගලයන්ගේ මහසමයම තුළ දිගහැරෙන්නේ බස්මා අසුරගේ අළු මතින් බිහිවන මහ සොහොනාගේ කතා පුවතයි.

මහසමයම වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ මෑතකදී බිහිවන දැවැන්තම ප්‍රාසාංගික නාට්‍ය නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය. ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ඔබට එළඹෙන නවම් මස නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ප්‍රාසාංගික රගහලේදී මෙහි ප්‍රථම නාට්‍ය ප්‍රාතිහාර්ය දකින්නට ඉඩ හසර ලැබේ.

ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍යයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන්නට සමත් වන මහසමයම තුළ දැකිය හැකි අනේකවිධ වූ විශිෂ්ටත්වය අපූර්වය.

මහසමයම තුළ දැකිය හැකි විශේෂත්වයක් වන්නේ ඒ තුළ වෙස් මුහුණට දී ඇති ප්‍රමුඛත්වයයි. ජන සම්ප්‍රදායන් තුළ වෙස් මුහුණට ප්‍රමුඛස්ථානයක් ලැබුණද අද වන විට එම විශ්මිත නිර්මාණ සංචාරක ආකර්ෂණය සඳහා පමණක් භාවිත කරයි. නමුත් වඩා හොඳ නිර්මාණාත්මක භාවිතයක් ලෙස ඇතුගලයන් මහසමයම තුළ වෙස් මුහුණ යොදා ගනී. අතින් කැටයම් කරන ලද වර්ණාලංකෘත සම්ප්‍රදායික වෙස්මුහුණු 40ක් පමණ නාට්‍යයට භාවිත කෙරේ.

ලංකාවේ ප්‍රවීණතම නළු නිළි කැලක් එයට සිය ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වය සපයයි. ඒ අතර ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, චන්න විජේවර්ධන, රවිබන්දු විද්‍යාපති, සඳුන් විජේසිරි, ඉන්දිකා උපමාලි, චතුරිකා පීරිස්, මාදනී මල්වත්ත, ජනක රණසිංහ, කුමාර තිරිමාදුර යන කලාකරුවෝ ද වෙති.

යුධ, ගුවන් සහ නාවික හමුදා නර්තන කණ්ඩායම් මේ සඳහා නර්තන දායකත්වය සපයන අතර පෙර පුහුණු වීම් මේ දිනවල සිදු වේ. 300කට අධික පිරිසක් මේ දැවැන්ත ප්‍රසංගය සඳහා දායක වන අතර ලංකාවේ ප්‍රථම වරට එවැනි වූ විශාල පිරිසක් වේදිකා නිර්මාණයක් සඳහා එක්ව සිටිති.

සැබවින්ම මහසමයමේ සංගීතය නව ආරකින් නිර්මාණය වේ. එහි ශාන්තිකර්ම කවි, සීගිරි ගී නාද රටා ඇතුළු තවත් බොහෝ සාම්ප්‍රදායික නාද රටා යොදා ගෙන තිබේ. ත්‍රාසය, භීතිය, සෘංගාරය ආදී වූ රසයන් නිර්මාණය වන්නේ වේදිකා රංගයේ අගය වඩාත් තීව්‍ර කරමිනි.

මහසමයමේ රංග වස්ත්‍රාභරණ හා ඇඳුම් නිර්මාණයද සුවිශේෂී වේ. වේදිකා ආලෝකකරණය හා පසුතල නිර්මාණයන් මෙතෙක් අපට දක්නට නොලැබුණු ශ්‍රී ලාංකේය නාට්‍ය කේෂ්ත්‍රයට ආගන්තුක නිර්මාණාත්මක ක්‍රමවේදයන්ගෙන් යුක්ත වන බව මහාචාර්ය ඇතුගලයන් පවසයි.

රටක ජනශ්‍රැති හා පුරාණෝක්ති එම සමාජයේ ජන විඥානයට ඍජුවම බලපෑම් කරන නිසා උපමා කතා (Fables), වීර කතා (legends) හා පුරාණෝක්ති (Myths) ඇසුරින් නිර්මාණය වන කලා කෘති ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නේ පහසුවෙනි. මහසමයම ද ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ මූලයන් සමග බද්ධ වී ඇති නිසා සහෘද ප්‍රේක්ෂක ජනී ජනයාගේ සිත් සතන් සංතෘප්තියට පත් කරනු බව නොඅනුමානය.

විද්‍යුත් මාධ්‍ය හා ටෙලි නාට්‍ය කලාව ව්‍යාපාරික වුවමනාවන්ට යට වී ඇති යුගයක මෙන්ම, නිර්මාණ තුළ හිඩැස පුරවාලන්නට බිහිවන මහාචාර්ය ඇතුගලසූරීන් මහ සමයම නම් වූ දැවැන්ත ප්‍රාසාංගික වේදිකා නිර්මාණය නෙළුම් පොකුණ ජාත්‍යන්තර රඟහල් වේදිකාව මත ප්‍රේක්ෂකයන් වෙත දිගහැරෙන මොහොත ශ්‍රී ලාංකේය නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන මං සලකුණක් සනිටුහන් කරනු ඇත

maha-hording-image-

- සජන්ති බෝපිටිය