මහසමයම උකුසු නීතීඥ බැල්මෙන්

පෙබරවාරි 10 වන දින රාවය පුවත්පතේ 'මහසමයම උකුසු ඇසින්' යන සිරස්තලය යටතේ ලියැවුණු ඊ.එච්. ඩී. උපාලි ගේ ලියැවිල්ලට පළමු ව ස්තුතිවන්ත වෙමි. මෙම ලිපිය ඔහුගේ ලියැවිල්ලට පිළිතුරක් නොවේ. කවරෙකුට වුව තමන්ගේ හිතලු ලිවීමට නිදහසක් හා අවකාශයක් මාධ්‍ය තුළ පවතී. ඔහුගේ ලියැවිල්ල ඔස්සේ මා විමසන්නේ මෙරට විකල්ප දහරාවේ විචාර‍ය හා 'මහසමයම' විමසීම උදෙසා ඔහු තෝරාගන්නා විචාර මිනුම් දඩු පිළිබදවයි.

ලියුම්කරු 'මහසමයම' ඔහු දුටු තවත් වේදිකා නාට්‍යයක් ලෙස සලකා ලිවීමට පෙළඹී ඇත. මා එය නම් කරන්නේ 'දෘශ්‍ය කාව්‍ය' යන යෙදුමෙනි. එබැවින් එය හුදු වේදිකා නාට්‍යයක් නොවේ. එසේම ලියුම්කරු 'ඔපෙරා' පිළිබඳ නොදන්නා බවද කියයි. ඔපෙරාවන්හි ලක්ෂණ 'මහසමයම' තුළ පවතී. ඔපෙරා පිළිබඳ අවබෝධය මෙම විචාරය උදෙසා අත්‍යවශ්‍යය. අනෙක නෙළුම් පොකුණ වේදිකාව ද නාට්‍ය වේදිකාවක් නොව ඔපෙරා වේදිකාවක් බව ඔහු නොදන්නා සේය. එබැවින් ඔහුගේ විචාර ප්‍රවේශය ම දොස් සහිතය. පුරාණෝක්තියෙන් යාතුකර්මයෙන් හා විශ්ව ප්‍රවණතාවන්ගෙන් උපන් 'මහසමයම' කොදෙව් මානසිකත්වයක සිට විමසීම කොතරම් යුක්ති යුක්තද?

බන්දුල පද්ම කුමාර මාගේ 'මහසමයම හා එටික් නාට්‍යවේදය' යන කෘතියෙන් උපුටා ගන්නා 'කුරුලු ඇසින් බැලීම' යන්න 'උකුසු ඇසින් බැලීමක්' ලෙස පෙරලා ගන්නේ නීතිවේදයට යටත්ව මිස වේදිකා විචාරවේදයට අනුව නම් නොවේ. 'මහසමයම' නිර්මාණය කිරීමට පෙර ඒ උදෙසා කළ 'වෙස්මුහණු හා විශ්පෞරුෂායනය', 'මහසමයම හා එටික් නාට්‍යවේදය' යන කෘති දෙක කියවුවානම් ඔබ මෙතරම් හාස්ය්‍ය උපදවන ලියැවිල්ලකට යොමු වන්නේ නැත. 'කුරුලු ඇසින් බැලීම' යනුවෙන් බන්දුල දක්වන්නේ මාගේ කෘතිවල පැහැදිලි කරන 'එටික් නාට්‍යවේදයයි'. එයින් කියැවෙන්නේ නිර්මාණ අධ්‍යනයේදී ස්ව සංස්කෘතීන්හි පවත්නා සම්ප්‍රදායික පර්යාවලෝකන විශ්වාස හා හැසිරීම්වලට පිටින් සිට ඒවා පර්යාවලෝකනයට ගැනීමයි.

එටික් විචාර රීතිය කිසියම් වේදිකා රංගනයක සංසිද්ධිදාම හෝ චරිතාංගයක් හෝ ව්‍යවහාරික භාණ්ඩ යනාදිය හෝ පිළිබද විවෘත මනසකින් හා පුළුල් දෘෂ්ටියකින් බැලීමට විචාරකයාට ඉඩ සලසයි. ඒවා හා බැදෙන සමාජ සම්බන්ධතා, සමානතා, විශ්වීය ගුණ යනාදිය පුළුල් විචාර සංකල්පනා සමග සංසන්ධනාත්මකව ගනුදෙනු කරයි. එමගින් කෘතියේ අභ්‍යන්තරික දෘෂ්ටිමය සුසංවාදය ඉදිරියට පමුණුවන අතර එටික් විචාර ප්‍රවේශය මගින් නිර්මාණයට පාදක අන්තර්ගතයේ හා ආකෘතියේ පවත්නා ගුණ හා අර්ථකථන, විෂය කොට ගනිමිනී. ඒවායේ සංස්කෘතික හැසිරීම හා විවිධතා විශ්වීය මාන ඔස්සේ අවධානයට ගත හැකිය. විවිධ සංස්කෘතීන්හි පුරාණෝක්ති යාතුකර්ම යනාදිය තුලනාත්මකව විභාග කිරීම, විශ්වීය නිර්දේශ හදුනා ගැනීම, අන්තර් සංස්කෘතික සබඳතා වටහා ගැනීම යනාදියට මග පාදයි. නිර්මාණාත්මක කෘති විශ්ලේෂණය කිරීමේදී ව්‍යුහාත්මක නොවන හා අරමුණු බද්ධ පර්යාවලෝකනය මෙම විචාර රීතිය මගින් බල ගන්වයි. කෙසේ වුව මෙම ලියුම්කරුට කෘතියෙහි ප්‍රස්තුතය හසුකර ගැනීමට නොහැකි වන අයුරු 'මහසමයමෙහි' එන ඊශ්වර මහින්ද රාජපක්ෂ ලෙසත් අසුර ප්‍රභාකරන් ලෙසත් උමා එන්.ඡී.ඕ ලෙසත් නම් කිරීමෙන් පෙනේ. එය අතිශය අදූරදර්ශී ප්‍රකකාශයකි. දේව කතා, සංස්කෘතික නාට්‍ය හා පුජා කර්ම යනාදිය අධ්‍යයනය කරමින් වික්ටර් ටර්නර් විසින් සම්ප්‍රදායික නාට්‍යයන්හි පවත්නා පරාරෝපණ මූලාශ්‍ර නූතන නාට්‍යයට ගතහැකි ප්‍රබල නාට්‍යමය සාධක ලෙස පෙන්වා දෙනු ලබයි. අති පැරණි පුරාණෝක්ති, දේව කතා, මිත්‍යා ප්‍රබන්ධ යනාදිය හඩගා කියනුයේ ඒවායෙහි එන හැසිරීම් හා සංකල්පනාවන්හි වර්තමානය හා නොසැසදෙන සංඥා, සංකේත ප්‍රතිමාන හා කේත භාවිත කොට ඇති බවකි.ඊශ්වර චරිතයෙහි පවත්නා විශ්වමාන කේතය විවිධ අර්ථනිරූපණ සපයන්නකි. මෙම ලියුම්කරු ඊශ්වර මහින්ද රාජපක්ෂ ලෙස හා සෙසු චරිත තවත් එවැනි වර්තමානික චරිත සමග සැසදීම ඔහුට උවමනා දේ 'මහසමයම' තුළ සෙවීමේ ප්‍රතිපලයකි. කෙසේ වුව මානව විද්‍යාවේදී හෝ සෞන්දර්යය විද්‍යාවේදී දේව කතා හා නුතන මතවාද අතර සම්බන්ධතා විමසනුයේ ඒවායෙහි ඇති සත්‍යතා තහවුරු කිරීමට නොවේ. අතීත මානව චින්තාව තුළ ලෝකය හා අවට පරිසරය පිළිබද වූ අවබෝධයේ තරම විමසීමටය. විශේෂයෙන් 'මහසමයමෙහි' අරමුණු වූයේ අතීත මානව ක්‍රියාකාරකම් දාර්ශනික පදනමින් නිර්මාණාත්මක‍ව වත්මන් සමාජානුයෝජනය උදෙසා උපයෝගීකරගැනීමේ හැකියාව උරගා බැලීමයි. ශක්තිය හා චලනය පිළිබද මතය මෙන්ම ජලය, ගින්න, හිරු, සදු හා වාතය යනාදී පදාර්ථයන් පිළිබද අතීත මතය ඊශ්වර මූර්තිමත් කරයි.

නූතන විද්‍යාවේ පිළිගැනෙන මහා පිපිරුම් ආකෘතිය හා ස්ථාවර තත්ත්ව ආකෘතිය හින්දු පුරාණෝක්තිවල ගැබ්වන අයුරු ඊශ්වර, අසුර හා උමා නාටකයෙන් දැක්වේ. පදාර්ථ අවට ඝණත්වයකට පත්වන්නේනම් විශ්වයේ පූර්ණ ගරා වැටිමක් ඇති වන්නේය යන විද්‍යාත්මක මතය 'මහසමයම' දෘශ්‍ය කාව්‍යයෙන් ගෙනහැර දැක්වෙන්නේ 'විනාශය යනු පරිණාමික ස්වභාවයයි' යනුවෙනි. ඊශ්වර යනු පරිනාමික ක්‍රියාවලිය ලොව තුළ පවත්නා බව ජනයාට සන්නිවේදනය කෙරුණු සංකේතාත්මක මූර්තියයි. ඇතිවීම හා නැතිවීම බලය පදනම් කොට සිදුවේ. සියලු වස්තුන් ඇසට පෙනෙන හා නොපෙනෙන ලෙස විනාශ වී යයි. ඒ සියලු වස්තුන්හි අනිත්‍ය ස්වභාවයයි.

ඒ අනුව විනාශය, පරිණාමය හා අනිත්‍යතාව පිළිබඳ නුතන සඳහන් චරිත සංකේතවත් කරයි. එබැවින් 'මහාසමයෙමෙහි' එන ඊශ්වර මහින්ද රාජපක්ෂ නොව ලෝකය පිළිබද පැරැන්නන් තුළ පැවති දාර්ශණික විශ්ලේෂණයේ ප්‍රතිබිම්බයයි.

භෞතික විද්‍යාත්මක මූලධර්ම හා ස්වකීය අත්දැකීම් පමණක් කරපින්නා ගැනීමෙන් ‍‍ඓතිහාසික ප්‍රවාදයන් හි පවත්නා දාර්ශික මත හදුනාගත නොහැකි වේ. ශිව තාණ්ඩව නර්තනය මගින් අදහස් කෙරෙන්නේද පොළොව‚ හිරු ‚සදු ‚තාරකා හා ග්‍රහ ලෝක භ්‍රණමණය වන බවයි. නිර්මාණශිලීත්වය හා විද්‍යාත්මක අවබෝධය අතර පැවති සංයෝජනය හා ආදිකාලීන මිනිසා විද්‍යාව හා මිත්‍යාව එකම තලයක තබා සන්නිවේදනය උදෙසා භාවිත කළ අයුරු ඊශ්වර අසුර නාටකය මූර්තිමත් කරයි.

මෙම ලියුම්කරු 'මහසමයමෙහි' ඇදුම් විශ්ලේශණය කරන්නේ රෙදි කඩයකට ගොස් දේශීය හෝ අපේ යැයි හෝ වශයෙන් ඇදුම් සොයන්නෙක් ලෙසිනි. යටත් විජිත හා කොදෙව් මානසිකත්වයේ සිට 'මහසමයමෙහි' ඇදුම් විමසන්නෙකුට ඒවා පෙනෙනුයේ අපේ නොවන බටහිර හෝ ග්‍රීක හෝ ඇදුම් ලෙසය. ඔහු අපේ යැයි සිතන කර තැල්ල, ඉන හැඩය, පච්ච වඩම රෙද්ද, ජෝතිය, උරබාහු හා උරමාලේ යනාදිය පොහොසත් ලෙස මා භාවිතයට ගන්නා අයුරු ඔහුට නොවැටහේ.

කෙසේ වුව නාය්‍යකදී මෙන් නොව දෘශ්‍ය කාව්‍යකදී ඇඳුම් භාවිතය චරිතයකට අනුව විශේෂිත ව සිදුකෙරෙන කාර්යයකි. ඉතිහාසයේ දැක්වෙන ද්‍රව්‍යමය ව්‍යවහාර දෙස ආගන්තුකව බැලීම තුළින් විචාර ඥානය ස්වාධීන තලයකට පමුණුවයි. එමගින් 'විශේෂත්වය' පිළිබද වැටහීම හා සමානතා තේරුම් බේරුම්කර ගැනීම පහසු කරයි. ඉතා සරලව පවසන්නේ නම් මොහු ඇඳුම් පැළඳුම් හා වේදිකා බඩු භාණ්ඩ යනාදිය දෙස බලනුයේ සංරක්ෂණවාදී දුබල විචාර මිණුම් දඩු පරිහරණයෙනි. එය ගතානුගතික. අවිචාරශීලිය. දව්‍ය හා සංකල්ප පිළිබද ආනුභූතික සීමාවන් ඉක්මවා, භෞතික සීමාවන්ට යටත් නොවන අර්ථ වටහා ගැනීම වත්මන් විචාර ප්‍රවණාතාවයකි. මොහු එය නොදනී. ඉතිහාසයටද සංස්කෘතික ද්‍රව්‍ය අද්‍රව්‍ය දේටද බාහිර නිරීක්ෂකයකු වීමෙන් පොදු මානයන්හි සිට ඒවා මැන බැලීමේ හැකියාව ලැබේ.

ඓතිහාසිකව විවිධ රටවල ද්‍රව්‍ය හා අද්‍රව්‍යවල වෙනස්කම් පැවතියදී ඒවා තුළ හුයක් සේ දිවෙන සමානතා දක්නට ලැබේ. සංස්කෘතික සවිඥානිකත්වය පිළිබද අවබෝධය පුළුල්වීමෙන් මිස තම සංස්කෘතියේ සිටම නාට්‍යයේ ඇඳුම් පැළඳුම් හා වේදිකා භාණ්ඩ අර්ථ ගැන්වීම නිවැරදි නොවේ. ශ්‍රී ලාංකීය සිංහ ඇඳුම තිබියදී ජපානයේ නෝ කබුකිවල එන සිංහ විලාශය සිංහබාහු නාටකයට සරච්චන්ද්‍රයන් උපයෝගී කරගන්නේ ඇයිද යන්න ඔහුට නොතේරෙනසේය. මෙරට බොහෝ වේදිකා නාට්‍ය තුළ භාවිත ඇඳුම් විලාශයනට විශ්ව නාට්‍ය කලාවන් සමග ගැටෙමින් දිගු ගමනක් යාමට තවත් අවකාශයන් ඇත්ද? කපු කටිමින් සිටි කුවේණිය, අනුරපුර හා පොළොන්නරු ස්වයංපෝෂිත‍ය හා නුවර යුගයේ සිතුවම් තුළින් කියාපානුයේ අප සිරුර වැහෙන ලෙස අලංකාර කර අගනා ඇඳුම් පැළදුම් ඇඳි ජාතියක්ය යන්න නොවේද? වේදිකාව තුළ සෙවිය යුතු වන්නේ සාර්වත්‍රික ගුණයන් මිස ඒකාකෘතික සංස්කෘතික හැඩ තල නොවේ. ලොව සියලු සංස්කෘතීන්හි සමාන වු ව්‍යවහාර පවතී. බොහෝ විට ඒවායෙහි අරමුණු සමාන වන අතර භාවිත ක්‍රියාමාර්ග පමණක් වෙනස් වේ. කලා මාධ්‍යයන්හි පදනම විශ්වීය වේ. අපේ හෝ දේශීය හෝ ලෙස නිර්මාණ පදනම් ගොඩ නගාගැනීම නූතනත්වය හා නොසැසදේ. විශේෂයෙන් පුරාණෝක්ති හා සම්ප්‍රදායික නාට්‍ය අධ්‍යනය කොට ඒවායෙන් කළ නිර්මාණ විමසීමේදී 'සම්මුතික විවිධත්වය' පිළිබඳ අවබෝධය වැදගත්වේ. සම්මුතික විවිධත්වය කාලානුරූපීව අධ්‍යනය නොකොට නාට්‍ය ආඛ්‍යානයක සැබෑ වටානාකම් හඳුනාගත නොහැකිය. මෙම ලියුම්කරුට ඇඳුම් බටහිර ඇඳුම් ලෙස පෙනෙනුයේ ද එබැවිනි. යාතුකර්මයක වුවද ඇඳුම් පිළිබඳ ක්‍රියාදාමය ඇදුරාගේ ස්වයං දැනුවත්භාවය මත වෙනස්වේ. ඇඳුම් හා භාවිත ද්‍රව්‍ය පිළිබඳ පූර්ව විනිශ්චයන් මත රැදීම වේදිකාවේ ඇඳුම් නිර්මාණවේදය ඉදිරියට ගෙන යාම වලකාලයි.

මෙම ලියුම්කරු 'මහසමයමේ' එන චරිත විග්‍රහ කරනුයේද පාසල් නාට්‍ය විනිශ්චය කරඇති පුරුද්දෙනි. හැඟීම් දැනීම්වලින් පිරිපුන් නළු නිළියන් 'මහසමයම' තුළ සොයන මොහු චරිත පිළිබඳ දිගු ළමා රචනාවක යෙදේ. වේදිකා රංගයකදී නළුවාගේ කාර්යය වන්නේ වේදිකාව මත සිදුවන දේ ප්‍රකාශ කිරීමයි. පෙන්වීමයි. යථාර්ථයක් ලෙස චරිත හදුන්වාදීම හෝ චරිතයක් රඟපෑම හෝ වේදිකාව මත සිදු නොවේ. මෙම ලේඛකයා චරිත පිළිබඳ දක්වන අදහස් ගැන මා කිසිදු විශේෂත්වයක් හෝ අගයක් දකින්නේ නැත. එනිසාම ඒ පිළිබඳ කිසිවක් නොකියමි. එසේ වුව මා වේදිකාව මත කළ දේ නොවිමසා ඔහු හිතනදේ මා නොකිරීම ගැන දොස් නැඟීම කරයි. වේදිකාව යනු යථාර්ථයකි. ඒ අයුරින් ම ප්‍රකාශ කිරීමට ස්ථානයක් හෝ එසේ කළ යුතුම ස්ථානයක් නොවන බව වටහා නොගන්නා මොහු ගෝඩිම්බර හා මහසොහොනා සටන ලඝු කොට කූටප්‍රප්තියක් ගැන කියයි. නාට්‍යමය කූඨප්‍රාප්තිය එකී සටන නොව වලස් හිස සවිකිරීම හා නව ආත්මය නැඟී සිටීමය. සමස්ත ලිපිය පුරාම පාසල් නාට්‍ය අධ්‍යයන විෂයෙහි භාවිත කරන පාරිභාෂික වචන සම්ප්‍රදායක් ඔස්සේ ඔහුගේ විචාරය බලගන්වා ගන්නට උත්සාහ කිරීම ම නූතනත්වය හා නාට්‍යවේදය පිළිබඳ ඔහු තුළ පවත්නා අවබෝධය පසක් කරයි. වත්මන් දේශීය වේදිකාව ඔහුගේ විචාර පදනම් සකස් කරද්දී ඇති බව පෙනේ. වත්මන් වේදිකාවේ ඛේදයේ කොටස්කරුවෙකු ලෙසද මම ඔහු දකිමි. සාම්ප්‍රදායික කලාවන් හා නූතන කලාවන් අතර ඇති මානව විද්‍යාත්මක හා සෞන්දර්යය විද්‍යාමත්මක විශ්ලේෂණ නොදැන විචාරකයකු වීම නාට්‍ය කලා විචාරයේ අභාග්‍ය සම්පන්න බව කියාපායි. නාටයයේ එන දෘෂ්‍යමාන සංස්කෘතිය ලියුම්කරු හසුකර ගන්නේ ඉරිදා පොළට ගොස් තම මඩිස්සලයට සරිලන ලෙස පරිභෝජන ද්‍රව්‍ය තෝරා ගන්නෙකු ලෙසිනි.

මෙහි එන පසුතල නාට්‍ය උච්ත වුවත් එමගින් නළු නිළියන් කුඩාවට පෙනෙන බව ඔහු දක්වයි. සම්භව්‍ය ඔපෙරාවක හෝ බර්ටෝල් බ්‍රෙෂ්ඩ් වැන්නෙකුගේ හෝ වේදිකා පසුතල පිළිඳව හෝ අබමල් රේණුවක දැනුමක් තිබුණිනම් ඔහු එලෙස පවසාවිද? ඔහුට අනුව එසේ නම් ග්‍රීසියේ දියෝකිසස් රංගපීඨය ද විශාල වැඩිය. බුදුරුවගල පිළිම හා අපගේ පුරාණ බලිරූප පසුතල ලෙස භාවිතයට ගත්තේ සංස්කෘතික, සෞන්දර්යාත්මක, විද්‍යාත්මක හා සංඥාර්ථ විද්‍යාත්මක අයුරිනි. එය කියවීමට එකී විෂය හදාරන්නවුන් පෙළඹිය යුතුගය. හුදු දැවැන්තකම පමණක් නොව එළෙස භාවිතයට බලපෑ මානව හා මනෝවිද්‍යාත්මක පදනමක්ද පවතී. වේදිකාවේ මේසයක් පුටු කීපයක් තැබීම නළුවාගේ පෞරුෂය ගොඩනැඟීමට හේතුවන්නක් ලෙස මෙම ලියුම්කරු සිතනවා වියහැකිය. වේදිකාවේ පසුතල නිර්මාණය පිළිබඳ ගම්මඩු ඇදුරෙකුට වූ නිර්මාණශීලීත්වය නූතන වේදිකාවේ දක්නට නොලැ‍බෙන බව අප වටහාගත යුතු සත්‍යයකි.

මා අතිශය කණගාටුවට පත්වන්නේ 'මහසමයමෙහි' සමස්තය හා ඒ හා බැඳුනු සංඥාර්ථ වටහාගනිමින් මෙහි එන ප්‍රස්තුතය කියවීමට උත්සාහ නොකිරීම පිළිබඳවයි. නෙත් අන්ද අයෙක් අලියෙක් පැහැදිළි කළා සේ 'මහසමයම' ගැන කීම විචාරශිලීත්වයේ තරම පසක් කරයි. 'මහසමයම' තුළ පුනපුනා කියන කිසිඳු සංවාදයක් ගායනයක් ‍හෝ සංගීතය පිළිබඳ විශ්ලේෂණයක යෙදීමට මොහු අසමත් වීම අනෙක් දුක්ඛාන්තයයි.

යථාර්ථවාදී ලෙස සැලකෙන ස්වාභාවික රංග රීතියේ සිට ශෛලිගත රංග රීතිය දක්වා නිර්මාණ ව්‍යවහාර ඉම පුළුල් වීම නාට්‍ය කෘතියක් කෙරෙහි හේතුවන අයුරු මෙන් ම දෙබස්වල සිට ගායනය දක්වා හඬ භාවිතය වෙනස්වීමේ ප්‍රකාශන ශඛ්‍යතාවද විචාර අවධානයට යොමුවිය යුත්තකි. මා 'මහසමයම' දෘශ්‍ය කාව්‍යයෙන් කරනුයේ අග්නිදිග ආසියාතික ජනයාගේ චින්තන දහරාවන් අපට බලපෑ හා ඒවා ගලාආ අයුරුත් විශ්වය හා මානව සම්බන්ධතා අතීත මිනිසා විශ්ලේෂණය කළ ආකාරයත් නිර්මාණාත්මක නිරීක්ෂණයක යෙදීමයි. අපගේ ආධ්‍යාත්මික විඥානයේ සම්භවය හා බලය ක්‍රියාත්මක වන ආකාරයේ විශ්වීය මානයන් පිළිබඳවත් 'මහසමයමට' ඇතුලත්ය. අප මුහුණ දෙන සමාජ දේශපාලනික සංස්කෘතික කඩතුරාවන් හඳුනාගැනීමට අවශ්‍ය තීක්ෂණ බුද්ධිය ගොඩනඟා ගැනීමට 'මහසමයම' යම් සහයක් ලබා දෙනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. නාට්‍ය ලෝකය පසක්කරගත නොහැකි වූ උපාලිට නිර්දය අවිචාරයෙන් හෝ කලාවේ සීමාමායිම් පසක් කර ගැනීමට ලැබේවා යන්න මාගේ ප්‍රාර්ථනයයි.

ආරියරත්න ඇතුගල

Read 1370 times