'මහසමයම': කතා කළ යුතු කලා නිර්මාණයක් - මහාචාර්ය තිස්ස කාරියවසම්

නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ප‍්‍රාසංගික මධ්‍යස්ථානයෙහි රංගගත මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ 'මහසමයම' දෘශ්‍යකාව්‍ය ආලෝචනයකට ලක් කිරීම නූතන කලා හා සමාජීය වංශ කතාවේ විශිෂ්ට කාර්යයකි.


එහෙත් සිංහල ගම්වල තිබුණු කෝලම්, නාඩගම්, කංකාරි, බත්මාලා, යක් තොවිල් හා මඩු තෝත‍්‍රවලින් එළිවන නාට්‍යමය ලක්ෂණ ඇතුළත් ගැමි කලාව 1877 දෙසැම්බර් 27 වැනි දින සී. දොන් බස්තියන්, පිටකොටුවේ දී, ඉදිරිපත් කළ රොලීනා නාටකේ නිසා නවීන, නාගරික කලාවක් බවට පත් විය. 1886 ජුනි 5 වැනි දින නීතිඥ මාකලන්දාවගේ ජෝන් ද සිල්වා 'රාමායණය' නූර්තිය සමඟ පිටකොටුවේ මල්වත්තේ තාවකාලික රඟහලට ආවිට සුහද පිළිගැනීමක් ලැබුණේ නැත. නාට්‍ය ලෝකයට අලූතින් යමකු ඇතුල් වන විට ලැබුණේ පිළිගැනීම් නොව, ගල් මුල් හා බාධකය. මැරයන් එක්ව පොල්ලතු වහලට ගිනි තැබීම නිසා රංගයද, රංග ශාලාව ද දැවී ගියේ ය.

1911 දෙසැම්බර් මස 16 වැනි දින නීතිඥ අමරතුංග ආරච්චිගේ චාර්ල්ස් ඩයස් 'පණ්ඩුකාභය' ටවර් ශාලාවෙහි රඟ දැක් වූ විට එහි රචනය, ආධුනික භාවය, සංගීතය, රංග වින්‍යාසය යන අංග සියල්ලම ප‍්‍රහාරයට ලක් විය. එහෙත් ඔහු අයිති පන්තියේ බලය නිසා බොහෝ නාට්‍යකරුවන්ට හා නාට්‍ය සමාගම්වලට ඔහුගේ සරණ සොයා යන්නට සිදු විය.

1950 දී ජේ.ඩී.ඒ. පෙරේරා නූර්ති නවීකරණය කොට ප‍්‍රදර්ශනය කළ කල්හි, ලංකා විශ්වවිද්‍යාලය හා තදනුබද්ධ විචාරකයෝ එ්වාට පහර දුන්හ. 1951 දී එදිරිවීර සරච්චන්ද්‍ර 'බහින කලාව' රචනා කොට නිෂ්පාදනය කළ විට ජේ.ඩී.ඒ. ප‍්‍රමුඛ නූර්ති කරුවෝ ද, හෙළ හවුල් වියත්තු ද, මෙය දැඩි දෝෂ දර්ශනයකට ලක් කළහ. හෙළ හවුල 'හරක් අන්දර' යන උප පදයෙන් ද 'ගද්‍රභයා' (බුරුවා) වැනි පදවලින් ද නාට්‍ය රචකයා අවමානයට ලක් කළහ.

1970 සරච්චන්ද්‍ර කළේ ජානක කථා හා ජනශ‍්‍රැතිය නාට්‍යයකට නැගීම මිස 'ස්වතන්ත‍්‍ර නාට්‍ය' නොවෙතියි තරුණයෝ තර්ක කරන්නට වූහ. විසි වැනි සියවසේ අවසානය ළං වන විට සරච්චන්ද්‍ර සිංහල නාටකයට සේවයක් කර නැතැයි අමාත්‍යාංශ සාකච්ඡාවක දී දොස් මතු කැරිණි.

මේ පසු තලය ගැන මා සඳහන් කළේ නව නිෂ්පාදකයකුට රංග ලෝකයට එ්මට බාධා කිරීම ජාතික ලක්ෂණයක් වූ බව පැහැදිලි කිරීමටය. එසේ නම් ඇතුගල මහාචාර්යවරයාගේ 'මහසමයම' එවැනි ඉරණමකට පත් නොවිය යුතුය යන චේතනාවෙන් මේ විග‍්‍රහය කරමි.

පහතරට, සබරගමුවේ ද පවත්නා ප‍්‍රධාන යක් තොවිල්වල මහසමයම දෙආකාරයකින් ව්‍යවහාර වේ. තොවිලයක් සාමාන්‍යයෙන් ජාම (යාම) තුනකට බෙදේ. හැන්දෑ, මධ්‍යම (මහ) සහ අලුයම වශයෙනි. මහ සමයම තොවිලයක ප‍්‍රධාන අවස්ථාවයි. දෙවැනි අර්ථය ඇත්තේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ය. එහි දී මහ සොහොන් ප‍්‍රධාන කොට ඇති මහ සොහොන් සමයමේ දී එම යක්ෂයා වෙනුවෙන් නටන පද කොට්ඨාසය හා මන්ත‍්‍රාවලිය මහසමයටයි. මහසොහොන් සමයමේ දී පුද ලබන මහ සොහොන් යකා උපද්දි කථා කිහිපයක් ඇත්තෙකි. එහින් එකක ඔහු උපන්නේ බස්මාසුරයා දැවූ සොහොනෙකි.

තවත් උත්පත්ති කථාවක මහ සොහොනා වන්නේ ජයසේන නම් යකාය. ඔහු දුටුගැමුණු රජුගේ යෝධයකු ද වූ ගෝඩිම්බර (ගෝඨඉම්බර) ගේ පිය බිරිඳ ආවේශ වූ අවස්ථ වේ ඔහු දුන් පහරකින් හිස කදින් වෙන් වී ගියේය. සෙනසුරා වලස් හිසක් ගෙන ඔහුට සවි කොට මහසොහොන් යකා උත්පාදයට පත් කළේ ය.

බස්ම අසුර රජුගේ සොහොනේ ඉපදුනේ ඇති ලෙස
තිස්දහස් පිරිවරනට වැඩම සිට පෙනේ
හිස් මතින් ගෝඩිම්බර ලියට ලොබ උනේ අයියෝ
හිස් වෙමින් ඔළුව නැතිව නිදිද හිමියනේ

ඇතුගල මේ දෘශ්‍යකාව්‍යයේ කථා වස්තුව නිර්මාණාත්මක ලෙස සම්බන්ධ කරන්නේ බස්මාසුර කතාවත් ජයසේන යකාගේ කතාවත් සංකලනය කිරීමෙනි.


රූපණය ගැන සලකා බලනවිට අධ්‍යක්ෂවරයා කළ විස්මයාන්විත වින්‍යාසය කෙනෙකුට ප‍්‍රත්‍යක්ෂ කරගත හැකි ය. ජැක්සන් ඇන්තනි සහ ශි‍්‍රයන්ත මෙන්ඩිස් ප‍්‍රවීණ නළුවන් වුව ද වෙනත් නාට්‍යවල දෙදෙනාම චරිතවලට අතිශයෝක්තියක් දැක්වීමට තැත් දැරීම දැකිය හැකිය. මහසමයම රංගනයේ දී ශි‍්‍රයන්ත සහ ජැක්සන් මෙතෙක් වේදිකාවේ රඟපෑ පරිණත සහ සුසංගතභාවය ගැන මෙහිලා සඳහන් කිරීම වැදගත් ය. චන්න විජේවර්ධන සහ රවිබන්දු විද්‍යාපති කීර්තිධර නර්තන ශිල්පීහුය. මහසමයමෙහි මේ දෙදෙනා නර්තන ශිල්පීය භාවයෙන් ඉවත් වී රූපණ ශිල්පීන් බවට පත් වීම පැසසිය යුතුය. චන්න විජේවර්ධන 1981 දී හොංකොං හි දෙවෙනි එළිසබෙත් රංග ශාලාවේන් තායිලන්ත ජාතික රඟහලේත්, ෂැනහයි නගර සභා ශාලාවේත් සිරිසඟබෝ නාට්‍යය රඟ පෑ අවස්ථාවෙහි ඔහුගේ ඇත් රජුගේ ගමන ගැන පේ‍්‍රක්ෂකයෝ උදම් වූ හ. ගිය වසරේ අග‍්‍රා නුවර ශාන්ත පෝල් විද්‍යාල ශාලාවේ දී ඔහුගේ නර්තනයෙන් වශී වූ පේ‍්‍රක්ෂකයෝ දෙවෙනි දවසට ද රවිබන්දුට නැටුම් දක්වන්නට ආරාධනා කළහ. මේ අවස්ථාවල පේ‍්‍රක්ෂකයෙකු වශයෙන් සහභාගී වූ මට ශී‍්‍ර ලංකාවේ තරුණ කලා කරුවන් ගැන උද්දිමයක් ඇති විය. එවැනි නර්තන ශිල්පීන් දෙදෙනෙකු විෂ්ණු සහ බස්මාසුර භූමිකාවලට නළුවන් ලෙස සහභාගි කරවීම සහ ඔවුන්ගේ සැඟවුණු දස්කම් පේ‍්‍රක්ෂකයන්ට එළිදරව් කිරීම අධ්‍යක්ෂවරයෙකුගේ වරණීය ගතිලක්ෂණ පැහැදිලි කරයි. නිශ්ශංක දිද්දෙනිය පොතේ ගුරු ලෙස අවස්ථා සම්බන්ධ කිරීම සංයමයෙන් සිදු කරයි. සාමාන්‍යයෙන් දිද්දෙනිය පේ‍්‍රක්ෂකයන් අතරට ගියේ ඉතා කි‍්‍රයාකාරි චරිතයක් ලෙසය. රූපණ අතින් සලකන විට ගුරුන්නාන්සේ සහ ගෝලයා ලෙස මුඛරි කතා බහින් පේ‍්‍රක්ෂකයන්ට යම් යම් කරුණු ඉදිරිපත් කරන කුමාර තිරිමාදුර සහ ජනක රණසිංහ අපට මතක් කරන්නේ ගැමි තොවිල් ගෙදරකි.

සංගීත පක්ෂය ගැන සලකන කළ මේ සා සාර්ථක ලෙස නාට්‍යමය සංගීතය යොදා ගත් අන් අවස්ථාවක් මෑත කාලයෙහි ලංකාවේ සිදු වූයේ නැත. උත්තර භාරත සංගීතයේ ශාස්තී‍්‍රය පක්ෂය නාට්‍යමය කෘතියකට අවශ්‍ය පරිදි හැඩ ගස්සා ගැනීමත් දේශීය සාම්ප‍්‍රදායික ගැමි සංගීත රීතිය සම්මිශ‍්‍රණය කර ගැනීමත් මෙහි දී වැදගත් වේ. සිංහල ජන ගීය පිළිබඳ ඇල්මක් ඇති කෙනෙකුට ෙදාරකඩ අස්න. මහසොහොන් සමයමේ ඇත් බන්ධනයේ ඇතා සොයන්නට ගිය යකැදුරන්ට හමු වන ඇතාගේ ලක්ෂණ කාන්තාවකට ආරූඪ කරන ආකාරය උකුසා වන්නමේ නාද මාලාව, මතු වන ආකාරය නිර්මාණාත්මකය.

මූණ බැලිමි සපු දුනුකේ මලක් වැනී
අත් දෙක බැලිමි රන් ඇත් දළ දෙකක් වැනී
බඳ පිට බැලිමි රඹ තොරණක රුසිරු වැනී
මෙවැනි ළඳුන් යක් ලොව කොහිද මිනිසුනී

මහසමයමේ මුල සිට වරින් වර මතුව ඇසෙන තේමාවක් තිබේ. එය පහතරට මහ සොහොන් සමයමේ මහ සමයම් පද නැටීමේ දී වැයෙන පහත රට බෙර වාදනයයි.

රෙගත/ගතකු /ගුඳග /තගත
ගහිතිගතම් /දෙගත /ගුඳග/ත ගුම්

චතුරිකා පීරිස්, ඉන්දිකා උපමාලී, මාදනී මල්වත්ත යන නිළියෝ මෙතෙක් සිංහල රංග භුමියේ ඔවුන් නිරූපණය කළ චරිතවලට වඩා පරිණත පැති කඩක් තම රූපණයන්ගෙන් විශද කළ. නූර්ති නාට්‍ය රැසක රඟ පෑම නිසා සඳුන් විජේසිරි ලද ශික්ෂණය තවදුරටත් සීමාසහිත බිමක ඉදිරිපත් කිරීමට ඔහු සමත් විය.

ගුරුන්නාන්සේ හා ගෝලයා ගේ මුඛරි සංවාද පහතරට තොවිල්වල සංවාදවල ලක්ෂණ මූර්තිමත් කරන අතර නාටකයේ විවිධ අවස්ථා නිරූපණය කිරීමෙන් ඒ දෙදෙනා නාට්‍යයට ආඛ්‍යානිත තත්ත්වයක් ද එක් කරලයි.

දේශීය සංස්කෘතිකංග 21 වැනි ශතවර්ෂයට හා නවීන ලෝකයට ගැළපෙන පරිදි ඉදිරිපත් කිරීමට ඇතුගල මහාචාර්යවරයා දක්වන ප‍්‍රාගල්භ්‍යය අප අගය කරන අතර විදේශික රංග ලෝකයට යාමට එමගින් විශිෂ්ට සේවයක් සිදු කළ හැකිය.

ඇතුගල ප‍්‍රබල සුහුඹුල් කලාකරුවන් කිහිප දෙනෙකුගේ නායකත්වය දරයි. පහතරට නැටුම් අංග, චලන හා බෙරවලට පණ දෙමින් දර්ශන පියරත්නගේ නිර්මාණාත්මක කුසලතාවය පැහැදිලි කරලයි.

ඇඳුම් පැළඳුම් හා රංගාභරණ ගැන මෙතෙක් කිසිදු සිංහල නාට්‍යයකට වැය නොකළ තරම් වියදමක් දරා එය උපරිම මට්ටමෙන් සිදු කර ඇත. සමහර නළු ඇඳුම් සඳහා හම් භාවිතයට ගෙන තිබේ. ඒ ඒ චරිතවලට කාලීනව ගැළපෙන ඇඳුම් පැළඳුම් ද සරල වර්ණවත් භාවය ද කැපී පෙනේ.

බුද්ධදාස ගලප්පත්ති කලාන්තරයක් තිස්සේ අංග රචනයෙන් පේ‍්‍රක්ෂකයින් අතර සිටි කලාකරුවෙකි. ඔහු මෙහි ලා නිර්මාණය කර ඇති අංග රචනා සරු වුව ද පුළුල් අර්ථවත් බවක් පෙන්නුම් කරයි.

පසුතල නිර්මාණය අතිශය වැදගත් වේ. ඒ සා පුළුල් වේදිකාවක් හිස් නොවන තත්ත්වයට පත් කිරීම කලාකරුවාට අභියෝගයකි. මෙහිලා නිර්මිත වෙස්මුහුණු 18 සම්ප‍්‍රදාය තුළ නවීනත්වය හඳුන්වාලයි, ප‍්‍රධාන ප‍්‍රතිරූප තුන එක් පසෙක දෙවිවරුය. අනික් පැත්තේ යක්කුය. සබරගමු සම්ප‍්‍රදායේ එන මහ බඹා කෝලම මෙහි දී මතක් වේ. ඒ රූපවල මතු පිටින් පෙනෙන්නේ, එය නියම රඹ පතුරුවලින් කළ බවකි.

නාටකයෙන් නූතන දේශපාලනය හා උපහාසය සැපයිය යුතුයයි පිළි ගන්නා කෙනෙකුට අවශ්‍ය නම් මහසෝනා කවුද ගෝඨඉම්බර කවුද ? යනාදි ගැන දේශපාලන අර්ථ කථනය කිරීමේ සිල්ලර ව්‍යායාමයක යෙදෙන්නට ඉඩ තිබේ. එසේ ගන්නේ නම් මහසමයම තවත් අර්ථවත් වේ. ත‍්‍රස්තවාදයෙන් නිදහස් වුණු ලංකාව ඉදිරිපිට ඇති අභියෝග හා ප‍්‍රශ්න ගැන ‘මහසමයම’ පේ‍්‍රක්ෂකයාට ඉඟියක් කරයි.

මහාචාර්ය ඇතුගල මින් පෙර සිත්තර ගුරුන්නාන්සේ වැනි ටෙලිනාට්‍ය නිර්මාණය කළ මුත් රංග භුමිය මත කළ ප‍්‍රථම අත්හදා බැලීම මෙයයි. දෘශ්‍යකාව්‍යයකට අවශ්‍ය සියලූ ගති ලක්ෂණ එකතු කර ගෙන විවිධ කුසලතා ඇති කලාකරුවන් දෙසීයකට වැඩි ගණනක් අධ්‍යක්ෂණය කිරීම බරපතළ දැවැන්ත අභ්‍යාසයකි. ඔහු ඒ සියල්ල ජය ගනියි. විචාරක රසික පේ‍්‍රක්ෂකයින් අතර සාකච්ඡාවට හා විග‍්‍රහයට ලක් විය යුතු කලා නිර්මාණයකි.


මහාචාර්ය තිස්ස කාරියවසම්

Read 1340 times