‘මහසමයම’ අප වේදිකාව මත දුටු සම්ප්‍රදායන්ගේ හැරවුම් ලක්ෂයක් - රවීන්ද්‍ර රන්දෙනිය මහතා

‘මහසමයම’ අප වේදිකාව මත දුටු සම්ප්‍රදායන්ගේ හැරවුම් ලක්ෂයක් ලෙස මට ඉතා ම පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. මක් නිසාද යත් මහසමයම තුළින් අප අත්දුටු දේ මීට ප්‍රථම ශ්‍රී ලංකාවේ වේදිකාවක් මත නොදැකපු දෙයක් ලෙස හදුන්වාදිය හැකි නිසායි. මේ තරම් දැවැන්ත නළු නිළි පිරිසක් ඒ වගේ ම වේදිකා පසුතල, වේදිකාවේ ප්‍රමාණය හා බැදුණු අනිකුත් සියලුම දේ තුළින් ‘මහසමයම’ අර්ථවත් ලෙස ඉදිරිපත් කිරීමේ මහ බරපතල වගකීම ඉතාමත් ම සාර්ථක ලෙස සහ ඉතාමත් ම විධිමත් ලෙස හසුරුවා තිබුණු බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

මෙම නාට්‍ය නැරඹීමේ දී දැනුණු වෘත්තීය මට්ටම අප වේදිකාවක කලාතුරකින් දකින්නක්. නළු නිළියන් හැසිරවීම, ප්‍රවේශ වීම සහ ඔවුන් වේදිකාවෙන් පිටවීම, බාහිර පසුතල වෙනස් වීම්, නර්තන කණ්ඩායම් වේදිකාවට ඇතුළු වීම, පිටවීම යනාදී හැමදෙයක් ම ලෝකයේ ඉතා ම උසස් නාට්‍ය රංගායතන සමාගම් විසින් කරන මට්ටමකට පැමිණ තිබූ බව ප්‍රධාන වශයෙන් ම සඳහන් කළ යුතුයි. මීළඟට ‘මහසමයමේ’ වටිනාම දේ ලෙස මට සිතෙන්නේ අපේ සාම්ප්‍රදායික බලි තොවිල් නැටුම් ඒවැනි දේවල්වලින් පටන් ගෙන මෙවැනි නූතන යුගයේ නුතන තාක්ෂණය සහිත වේදිකාවකට සංක්‍රමණය කරවීමයි. එය හිතාගන්නත් බැරි තරම් අසීරු දෙයක්. මක් නිසාද යත් අපේ සම්ප්‍රදාය එහිදී කැඩීමකට භාජනය නොවී ඒ සම්ප්‍රදාය තුළින් ම නව සම්ප්‍රදායක්, ඒසේත් නැත්නම් විශ්ව සම්ප්‍රදායන් සමඟ මෙම නාට්‍ය මුහු වී තිබීමයි.

ඔපෙරාව ගතහොත් එය බටහිර නාට්‍ය ක්‍රමයක්. එය අපට ඍජුව සම්බන්ධතා දක්වන්නේ නැහැ. අපේ සාම්ප්‍රදායික බලිතොවිල් වැනි දේවල තිබෙන සාම්ප්‍රදායික ලක්ෂණ මෙතෙක් අපට ගමේ කොහේ හරි රඟදැක්වූ ගොක්කොළ රාමු තුළ හිර වී තිබුණා මිස එතැනින් ඒහාට ගිය බවක් දක්නට නැහැ. නමුත් ‘මහසමයම’ ගොක් කොළ රාමු තුළ හිර වී තිබූ සම්ප්‍රදාය එතැනින් අරගෙන නෙළුම් පොකුණ දැවැන්ත වේදිකාව මතට ගෙනැවිත් ඉතාමත් ආකර්ශනීය ලෙස වේදිකා තාක්ෂණයේ තිබෙන උපරිම පහසුකම් සහ සම්පත් උපයෝගි කරගෙන ඉදිරිපත් කළ ආකාරය ඉතාමත් ප්‍රසංසනීයයි.

මට හැගෙනා ලෙස ශ්‍රී ලාංකිකයන් සෑම කෙනෙක් විසින් ම ‘මහසමයම’ වේදිකා නාට්‍ය නැරඹිය යුතුමයි. විශාල පරාසයක් තුළ දිවෙන මෙම නාට්‍ය හසුරුවා පෙන්නුම් කරන්නේ මේ තරම් සාර්ථක ව ඉදිරිපත් කරන්නට ලාංකීය නිර්මාණ ශිල්පීන්ට ශක්තිය ඇති බවයි.

මෙතැන දී මහාචාර්ය ඇතුගලයන්ට මාගේ ප්‍රණාමය පිරිනැමීමට කැමැත්තෙමි. මක් නිසාද යත් ඔහු විසින් අති සාර්ථක ලෙස නිම කළ මෙම දැවැන්ත කාර්යය ලෙහෙසි පහසු චින්තනයකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අප රටට මොන තරම් සම්පතක් ද යන වග ප්‍රායෝගික ව වටහා ගැනීමට මෙම ‘මහසමයම’ නාට්‍ය විශාල ලෙස රුකුල් දුන් බව ප්‍රධාන වශයෙන් සඳහන් කළ හැකිය.

‘මහසමයම’ මේ ආකාරයට ආකර්ශනීය ව හා ප්‍රබල ව ලංවෙන්නට නෙළුම් පොකුණ රංඟ ශාලාවේ තිබුණු ඒ නවීන තාක්ෂණය උසස් වේදිකා නිර්මාණය ඉවහල් වු බව කිව යුතුය. මෙම නව තාක්ෂණය සහ වේදිකා නිර්මාණය ‘මහසමයම’ වේදිකා රංගය ඉදිරිපත් කිරීම ත්‍රීව්‍රර ලෙස නරඹන්නන් සමඟ සමීප කිරීමට සමත් විය.මෙම ‘මහසමයමෙහි’ රංග පරපුර එසේත් නැත්නම් නළුනිළි පරපුරෙහි රංගකාර්යයන් බැලූ විට විට අපට මේ තරම් දක්ෂ, සාර්ථක, ශක්තිමත් රංග පරපුරක් අපේ රටේ සිටින බව පසක් කරයි.

මේ නාට්‍ය පුරා ම ඔවුන්ගේ රංග ශක්තියේ දක්ෂතා අපට දැකගත හැකි විය. ඇත්ත වශයෙන් ම ඒකට ප්‍රධාන සාධකය අපේ නළු නිළියන්ගේ රංගන හැකියාවයි.

ඔවුන් අප වේදිකාවක කලාතුරකින් දකින්නට ලැබෙන තාක්ෂණ මට්ටමකින්, රංග තාක්ෂණය සමඟින් රංග වින්‍යාසයෙහි වෘත්තීමය භාවය උපරිම මට්ටමකින් පවත්වාගැනීමට සමත් වූ බව කිව යුතුයි.

එසේ ම මා පෙර සඳහන් කළ ආකාරයට අපේ සම්ප්‍රදායික ලක්ෂණ මෙම නාට්‍ය තුළට ඇතුළු කරගෙන තිබෙන නමුත් ඒවා ඉදිරිපත් වන්නේ නව ආකාරයකින් හා නව ප්‍රවණතාවයකිනි. මෙහි එන පොතේ ගුරාගේ චරිත පවා සාම්ප්‍රදායික චරිතයක් වුවත් එම චරිතය පවා නවීන වේදිකාවට ගැළපෙන ආකාරයට වේදිකාව පුරා ඇවිදිමින් රංගනයේ යෙදෙමින් නවතාවකින් උපයෝගි කර ගැනේ. රංගනයේ යෙදේ. ඒ තුළින් පොතේ ගුරාගේ චරිතය වර්තමාන වේදිකාවට ගැළපෙන ආකාරයට නවීකරණය වී ඇත. එසේ ම ගුරුන්නාන්සේ සහ ගෝලයා ලෙස එන චරිත දෙක ද අපේ තොවිල් සම්ප්‍රදාය තුළ දක්නට ලැබෙන්නක්. වරින් වර වේදිකාවට පැමිණ තොවිලේ නරඹන අයට හාස්‍ය රසයක් සහ සැහැල්ලුවක් ලබාදෙන මෙම චරිත දෙක ද ‘මහසමයම’ වේදිකාව තුළ සම්ප්‍රදායන්ට හානිනොවන ආකාරයෙන් වර්තමාන වේදිකාවට ගැළපෙන ආකාරයෙන් නවීකරණය වී තිබේ.

බලි තොවිල් වැනි අප සාම්ප්‍රදායික අංගයන් ඉතා ම සාර්ථක ලෙස මේ නාට්‍යයට සම්බන්ධ කරගනිමින් වර්තමානයට ගැළපෙන ආකාරයට හසුරුවගෙන නවමු අත්දැකීමක් ලෙස ප්‍රේක්ෂකයා අතට පත්කිරීමට ‘මහසමයම’ නාට්‍යයට හැකි වී තිබෙන බව කිව යුතුමය.

සමස්ථයක් වශයෙන් ගත්තොත් මෑතක දී මම වේදිකාවක් මත දුටු ප්‍රාසාංගික ලක්ෂයන්ගෙන් අනූන ඉතා දැවැන්ත වූ ආකර්ශනීය ම ඉදිරිපත් කිරීම ‘මහසමයම’ ලෙස කීමට මම මැලි නොවෙමි.

Read 1180 times