'මහාචාර්ය ඇතුගලයන් ජනශ්‍රැතිය හොඳින් හදාරා ඒ ජනශ්‍රැතියේ ආභාශය ලබාගෙන නවීන පන්නයේ රංග කාව්‍යයක් ඉදිරිපත් කිරීමට ගත් වෑයම් අති සාර්ථකයි'- මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ “මහසමයම” දෘශ්‍ය කාව්‍ය පිළිබඳව අදහස් කිහිපයක් ඉදිරිපත් කැමැත්තෙමි. මෙම නාට්‍ය පිළිබඳව මුලින්ම සඳහන් කිරීමට ඇත්තේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් ජනශ්‍රැතිය හොඳින් හදාරා ඒ ජනශ්‍රැතියේ ආභාශය ලබාගෙන නවීන පන්නයේ රංග කාව්‍යයක් ඉදිරිපත් කිරීමට ගත් වෑයම් අති සාර්ථක බවයි. මෙම ජන වෘත්තාන්තය අපේ ඉතිහාසයේ ආගමික චින්තාවේ මානව පරිනාමයේ මුල සිට අද දක්වාම දිවෙන අඛණ්ඩ මානව අත්දැකීම් සමුදායක් රැගත් වෘත්තාන්තයක් ලෙස සැලකිය හැකිය. මෙවැනි අත්හදා බැලීම් මහා වේදිකාවේ කිරීම එක් අතකින් බැලූවිට හාස්කමක් ලෙස පෙනෙන නමුත් එම හාස්කම වටහාගන්නට නම් මෙම රංගනයේ තිබෙන අංගෝපාංග විශ්ලේෂණය කිරීමට සිදුවේ. මෙය මහා රංගයක් වීමට එක් ප්‍රබලත ම හේතුවක් වන්නේ නෙළුම් පොකුණ රඟහලේ තිබෙන තාක්ෂණය හා ඉඩ හසරය.

විශාල සංදර්ශනයක් වන “මහසමයම” තුළ අනුරංග රාශියක් තිබේ. ඒ හැම අනුඅංගයක් ම ප්‍රදීපනය කරන්නට තාක්ෂණය බෙහෙවින් ඉවහල් වී ඇති බව සඳහන් කළ යුතුය. නිදර්ශන වශයෙන් අලෝකකරණය, ශබ්දය, අභිනය පෙන්වීම සඳහා විවිධ වර්ණ හැඩතල යොදා ගැනීම, වේදිකාවේ පසුතල නිර්මාණය ආදිය සඳහන් කළ හැකිය. සංකේතාත්මකව තවමත් අර්ථකථනයට භාජනය නොවූ දෙවිවරුන්ගේ රූප රාශියක් මේ තුළ සංකේතවත් වී තිබේ. ඒ සමගම සූර්යයා දිස්වේ. සුර්යයයා යනු ජනතාවට ප්‍රාණය ලබාදෙන ශක්තියකි. ඒ ප්‍රාණය මත ගස් වැල්, භව බෝග, සතා සිවුපාවා සැමජීවියෙකුගේ ම ජීවිතය රදා පවතී. මෙම ශක්තිය විනාශ වුවහොත් සිදුවන සංසිද්ධිය කිසිවෙකුට කිව නොහැකි බවත් මෙම නාට්‍යයෙන් පිළිඹුමු වේ. එම නිසා එක අතකින් බලන විට මෙය හුදු ජන වෘත්තාන්තයක් පමණක් නොව ජන කාව්‍යයක් වශයෙන් සැලකිය හැකිය. මෙය ජන කාව්‍යයක් ලෙස සැලකීමට ප්‍රධාන හේතුවක් වන්නේ මුලක්, මැදක්, අගක් නොතිබුණත් ඕනෑම තැනකින් කෙනෙකුට නැරඹීමට හැකි වෘත්තාංතයක් වීම නිසාය. එහි නර්තනය, සංගීතය හා සමඟ ම රූපණය ද ගැබ් ව තිබේ.

මෙහි එන එක් එක් අංග දෙස අවධානය යොමු කළ හොත් මාගේ සිත හුඟාක් ම පැහැර ගත් අංග දෙකක් තිබෙන බව කිව යුතුය. එයින් එක් අංගයක් වන්නේ සමන්ත පෙරේරා මහතාගේ සංගීතයයි. අනෙක් අංගය වන්නේ නර්තනයයි. මෙම නර්තන අංග සඳහා රවිබන්දු විද්‍යාපති මහතා හා චන්න විජේවර්ධන මහතා ගුරු වී තිබේ. එසේ මෙම හැඩතල තුළ එම රංගනය සිදුවන විට මෙම නාට්‍යයේ චුල බවක් දිස් නොවේ. එසේත් නැත්තම් පුංචි බවක් නොපෙනේ. එක් අතකින් බැලූවිට මෙම පිටපතේ තියෙන්නේ කුඩා පුවතකි. කුඩා පුවතක් වූ නමුත් එම පුවත ඇතුලත විශාල ජවනිකා රාශියක් දිග හැරේ. ප්‍රධාන වශයෙන් අංග තුනක් යටතේ මෙම නාට්‍ය දිග හැරේ. අංග තුනකින් යුත් විශාල වේදිකා නාට්‍යයක් වුවත් එම අංග තුන ඇතුලත දී එනම් උප්පත්ති, සිද්ධි, භග්ග වගේම වීරත්වය, පෞඩත්වය ඒ එක්කම සමාධිය මෙම නාට්‍යය තුළ තිබේ. සමාධිය ඒසේත් නැත්නම් සිත කෙළින් කරගත්ත කෙනෙකුට, භාවනායෝගී කෙනෙකුට කළ නොහැකි දෙයක් නැත යන පුවත මෙම නාට්‍යය තුළින් ඉස්මතු වී පෙනේ. ගෝඩිම්බර චරිතය රඟ පෑ ශ්‍රියන්ත මෙන්ඩිස් හා මහසෝනා චරිතය රඟ පෑ ජැක්සන් ඇන්තනී එකෙකුට එකෙක් පරයා නොයන ලෙස සිය චරිත ඉදිරිපත් කර ඇත . මේ දෙදෙනා වේදිකාවේ මහා රංගනයක් ඉදිරිපත් කරනවායන්න මාගේ හැඟීමයි. ඒ එක්කම අමතක කරන්නට බැරි චරිතයක් තමයි ඉන්දිකා උපමාලිගේ චරිතය. ඇය ගී ගායමින් නර්තනයේ යෙදෙමින් රූපණයේ යෙදෙමින් වචන සංවාද උච්චාරණය කරමින් ඇගේ චරිතයට පණ පොවන බව කිවයුතුයි. ඒ සමගම ජන නාට්‍යවල එන චූලාංග විකට ජවනිකාවක් වන සබේ විදානේ සහ ගුරුන්නාන්සේගේ චරිත කුමාර තිරමාදුර සමඟ ජනක රණසිංහ විසින් කර තිබේ. ඈත අතීතයේ සිට ම මෙම චරිත දෙක මගින් ප්‍රේක්ෂකයාට විනෝදය සපයයි. ඒ අනුව “මහසමයම” රංග ශිල්පයේ ඉපැරණි කමත් නවීනකමත් දෙක ම රැකදෙමින් වේදිකාගත වී ඇත. පළපුරුදු නළුවෙකු වන නිශ්ශංක දිද්දෙනිය පොතේගුරාගේ භූමිකාවට පණ පොවන අතර ඇතුගලයන් අතින් එම චරිතය වෙනස් වී තිබේ. සාම්ප්‍රදායික ලෙස නම් පොතේ ගුරා එක්තැනක සිට පොත කියවයි. නමුත් මෙම පොතේ ගුරු තැනින් තැනට යමින් වේදිකාව මනා ලෙස හසුරවමින් රංගනයේ යෙදේ. මා එය දකින්නේ නුතන වේදිකාව ඉල්ලා සිටි දෙයක් ලෙසයි. මේම රංගය කුඩා ප්‍රබේදවලට පත් කිරීමට මා කැමති නැහැ. එය ඔපෙරාවක් ද? ජන කතාවක් ද? සංධ්වනියක් ද? සංගීත නාට්‍යයක් ද? ඉඟි නළුවක් ද? නාඩගමක් ද? නූර්තියක් ද? ස්වභාවික නාට්‍යයක් ද? යනාදි ප්‍රශ්න අසන්නට ප්‍රේක්ෂකයා පුරුදු කරන්නට සුදුසු නොවේ. අද ප්‍රේක්ෂකයා එහෙම අසන්නේ නැත. මේ හැම අංගයකින් ම සමන්විත මේ කෘතිය මට හැගෙන ලෙස අපට ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි. නුතන වේදිකාව රංගකලාව කොයි තරම් දුරක් ගමන් කර තිබෙනවද? මේ අත්හදා බැලීම ඊළඟ පරම්පරාවට ගෙන යාමට ඉඩක් ලබාදී තිබේ. මෙබදු පුරාවෘත්තීන් ආපසු සොයාගෙන යාමේ ගමන නැවතත් ආරම්භ කරන්නට බැරිද? අපේ ළඟ මොන තරම් ස්වදේශක සම්පත් තියෙනවද? මේ ස්වදේශික සම්පත් මහා රංගයකට සුදුසු වෙන පරිදි වෙනස් කිරීමට බිය නොවිය යුතුයි යන පදනම මේ නාට්‍යය තුළින් ලබාදෙන බව ප්‍රේක්ෂාගාරයේ සිටි ප්‍රේක්ෂකයෙකු විදිහට මට හැඟිනි.

ඒ සමඟම කෙනෙක් අහන්නට පුළුවන් මේ නාට්‍යයෙන් මොකක්ද උනේ කියා. හැබැයි උත්තරයක් දෙන්නට පුළුවන් කමක් තියෙන්නට ඕන. මේ පටන් ගැන්මක් විතරයි. නමුත් මේ පටන්ගැන්ම නම් නූතන නාට්‍ය ශිල්පීන්ගේ ඇහැ ඇරවන පටන්ගැන්මකි. ඒ පටන්ගැන්ම එසේ සිදුවන්නේ ද කියන එක පිළිබඳ ව කතිකාවක් අවශ්‍ය වේ. සාම්ප්‍රදායික නාට්‍ය කලාවේ ඉම පුළුල් කිරීමට නම් පර්යේෂණ නාට්‍ය අවශ්‍ය කෙරේ. ඒ පර්යේෂණ නාට්‍ය කිරීමේ දී ඉම පුළුල් කිරීමට නම් තාක්ෂණ වේදියාගේ සහාය, නර්තන ශිල්පියාගේ ආභාෂය, සංගීතවේදියාගේ ශිල්ප අවශ්‍ය වේ. ඒ සමඟ ම වෙස්ගැන්වුම් ශිල්පීන්ගේ, වස්ත්‍රාභාරණ ශිල්පීන්ගේ ආභාෂය හා දායකත්වය අවශ්‍ය වේ. මේ සියළුම දේ පිළිබඳ ව මනා දැනුමක් ඇති ව මා දුටු දවසේ ඉතාමත් හොඳ රංගනයක් සිදු වු බවකිව යුතුය. මන්ද යත් කිසියම් ප්‍රමාණයක සෞන්දර්යාත්මක වින්දනයක් මෙන් ම සංගීතය ඉතාමත් ම කර්ණ රසායනයි. විශේෂයෙන් ම ඒ ගැන සංගීත ශිල්පියාට ස්තූතිවන්ත විය යුතුයි. මං හිතන විදිහට මහා සම්ප්‍රදායට අයත් ප්‍රාචීනවාදී සහ ප්‍රතිචීනවාදී පටු ප්‍රභේදවලට නොබෙදා ලෝක සම්ප්‍රදායට අයත් විදිහට සංගීතයේ නාද රටාව සකස් කර තිබුණු බව කිව යුතුය. එම නිසා මෙම නාට්‍ය නරඹන කෙනෙකුට අපමණ ප්‍රයෝජනයක් ඵලදාවක් ලැබෙයි යන්න මගේ නිගමනයයි.

Read 1349 times