Criticism

පෙබරවාරි 10 වන දින රාවය පුවත්පතේ 'මහසමයම උකුසු ඇසින්' යන සිරස්තලය යටතේ ලියැවුණු ඊ.එච්. ඩී. උපාලි ගේ ලියැවිල්ලට පළමු ව ස්තුතිවන්ත වෙමි. මෙම ලිපිය ඔහුගේ ලියැවිල්ලට පිළිතුරක් නොවේ. කවරෙකුට වුව තමන්ගේ හිතලු ලිවීමට නිදහසක් හා අවකාශයක් මාධ්‍ය තුළ පවතී. ඔහුගේ ලියැවිල්ල ඔස්සේ මා විමසන්නේ මෙරට විකල්ප දහරාවේ විචාර‍ය හා 'මහසමයම' විමසීම උදෙසා ඔහු තෝරාගන්නා විචාර මිනුම් දඩු පිළිබදවයි.

නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ප‍්‍රාසංගික මධ්‍යස්ථානයෙහි රංගගත මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ 'මහසමයම' දෘශ්‍යකාව්‍ය ආලෝචනයකට ලක් කිරීම නූතන කලා හා සමාජීය වංශ කතාවේ විශිෂ්ට කාර්යයකි.

‘මහසමයම’ අප වේදිකාව මත දුටු සම්ප්‍රදායන්ගේ හැරවුම් ලක්ෂයක් ලෙස මට ඉතා ම පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. මක් නිසාද යත් මහසමයම තුළින් අප අත්දුටු දේ මීට ප්‍රථම ශ්‍රී ලංකාවේ වේදිකාවක් මත නොදැකපු දෙයක් ලෙස හදුන්වාදිය හැකි නිසායි. මේ තරම් දැවැන්ත නළු නිළි පිරිසක් ඒ වගේ ම වේදිකා පසුතල, වේදිකාවේ ප්‍රමාණය හා බැදුණු අනිකුත් සියලුම දේ තුළින් ‘මහසමයම’ අර්ථවත් ලෙස ඉදිරිපත් කිරීමේ මහ බරපතල වගකීම ඉතාමත් ම සාර්ථක ලෙස සහ ඉතාමත් ම විධිමත් ලෙස හසුරුවා තිබුණු බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ “මහසමයම” දෘශ්‍ය කාව්‍ය පිළිබඳව අදහස් කිහිපයක් ඉදිරිපත් කැමැත්තෙමි. මෙම නාට්‍ය පිළිබඳව මුලින්ම සඳහන් කිරීමට ඇත්තේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් ජනශ්‍රැතිය හොඳින් හදාරා ඒ ජනශ්‍රැතියේ ආභාශය ලබාගෙන නවීන පන්නයේ රංග කාව්‍යයක් ඉදිරිපත් කිරීමට ගත් වෑයම් අති සාර්ථක බවයි. මෙම ජන වෘත්තාන්තය අපේ ඉතිහාසයේ ආගමික චින්තාවේ මානව පරිනාමයේ මුල සිට අද දක්වාම දිවෙන අඛණ්ඩ මානව අත්දැකීම් සමුදායක් රැගත් වෘත්තාන්තයක් ලෙස සැලකිය හැකිය. මෙවැනි අත්හදා බැලීම් මහා වේදිකාවේ කිරීම එක් අතකින් බැලූවිට හාස්කමක් ලෙස පෙනෙන නමුත් එම හාස්කම වටහාගන්නට නම් මෙම රංගනයේ තිබෙන අංගෝපාංග විශ්ලේෂණය කිරීමට සිදුවේ. මෙය මහා රංගයක් වීමට එක් ප්‍රබලත ම හේතුවක් වන්නේ නෙළුම් පොකුණ රඟහලේ තිබෙන තාක්ෂණය හා ඉඩ හසරය.